
Fiat කෑම සහ බෙහෙත් චක්‍රය: Bitcoin මගින් අපේ සෞඛ්‍යය බේරාගන්නේ කොහොමද?
ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය
May 21, 2026
Fiat කෑම සහ බෙහෙත් චක්‍රය: Bitcoin මගින් අපේ සෞඛ්‍යය බේරාගන්නේ කොහොමද?
අද කාලයේ ලංකාවේ ඕනෑම නගරයකට ගියොත් අපිට පෙනෙන පොදු දර්ශනයක් තිබේ. ඒ තමයි සෑම තැනකම ඉදිවන රෝහල් සහ සෑම හන්දියකම ඇති ෆාමසි. රජයේ රෝහල්වල බෙහෙත් නැති පෝලිම් පවතින අතර පෞද්ගලික රෝහල්වල බිල්පත් දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇත. නමුත් අප කිසිවෙකුත් මෙසේ ඇසීමට උත්සාහ කරන්නේ නැත: "ඇයි අපි මෙච්චර ලෙඩ වෙන්නේ?".
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
අපේ පැරැන්නන් වයස අවුරුදු 90ක් 100ක් යනතුරු නිරෝගීව සිටියත්, අද තාරුණ්‍යය පවා දියවැඩියාව සහ හෘද රෝගවලට ගොදුරු වන්නේ ඇයි?. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ අප පාවිච්චි කරන මුදල් ක්‍රමය හෙවත් Fiat Standard බව ඔබ දන්නවාද?.

කාල මනාපය (Time Preference): මුදල් අපේ තීරණ පාලනය කරන අයුරු
මුදල් ක්‍රමය සහ සෞඛ්‍යය අතර සම්බන්ධය තේරුම් ගැනීමට නම් අප 'Time Preference' නැත්නම් 'කාල මනාපය' ගැන දැනගත යුතුය.
ඉහළ කාල මනාපය (High Time Preference): මෙය Fiat මුදල් ක්‍රමයේ ලක්ෂණයකි. රුපියලේ අගය දවසින් දවස බාල්දු වන විට, මිනිසුන් සිතන්නේ අනාගතය ගැන නොව වර්තමානය ගැන පමණි. මේ නිසා වැඩ ඇරී නිවසට යන විට මහන්සියට ඉක්මනින් බඩ පිරෙන, ලාභ, රස, නමුත් ශරීරයට අගුණ "ෂෝට් ඊට්ස්" හෝ පාන් පිටි ආහාර තෝරා ගැනීමට අප පෙළඹේ.
අඩු කාල මනාපය (Low Time Preference): මෙය Bitcoin වැනි Hard Money වල ලක්ෂණයකි. Bitcoin වල වටිනාකම අනාගතයේදී වැඩි වන බව දන්නා පුද්ගලයෙකු තමන්ගේ අනාගතය වෙනුවෙන් අද දවසේ සෞඛ්‍ය සම්පන්න තීරණ ගනී. ඔහු තම "Biological Capital" එක හෙවත් ශරීරයේ වටිනාකම රැකගැනීමට උත්සාහ කරයි.

Fiat Food: ලාභ කෑමේ මිල අධික රහස
රජයන් මුදල් අච්චු ගසන විට බඩු මිල ඉහළ යයි. ජනතාවගේ විරෝධය මැඩපැවැත්වීමට රජයන් කරන්නේ පෝෂණයෙන් තොර බඩඉරිඟු, සෝයා, සීනි සහ පාන් පිටි වැනි දේවලට සහනාධාර දී ඒවායේ මිල කෘතිමව පාලනය කිරීමයි.
ස්වභාවික සත්ව මේදය වෙනුවට අද අපේ කෑමට එකතු වන්නේ කාර්මික අපද්‍රව්‍ය වැනි ලාභදායී ශාක තෙල් (Vegetable Oils) වර්ගයි. උද්ධමනය නිසා සාමාන්‍ය මිනිසෙකුට බිත්තරයක්, මස් කෑල්ලක් හෝ නැවුම් එළවළු ටිකක් මිලදී ගැනීමට ඇති හැකියාව නැත්තටම නැති වී ගොස් ඇත.

ලෙඩ කරන විෂ චක්‍රය සහ Big Pharma
මෙහි ඇති භයානකම පැත්ත වන්නේ Fiat ක්‍රමය හරහා අපිට මුලින්ම විෂ කෑම කවා ලෙඩ කිරීමයි. ඉන්පසු ඒ ලෙඩවලට බෙහෙත් විකිණීමෙන් මහා පරිමාණ ඖෂධ සමාගම් (Big Pharma) ලාභ ලබයි. මෙම සමාගම් විසින්ම රජයේ නීති පද්ධතීන් පාලනය කිරීම හෙවත් 'Regulatory Capture' තත්ත්වය නිසා රෝගය සුව කරනවා වෙනුවට, ඔබව ජීවිත කාලය පුරාම බෙහෙත් මත යැපෙන්නෙකු බවට පත් කරයි.

Bitcoin මේ චක්‍රය බිඳ දමන්නේ කොහොමද?
Bitcoin යනු බැංකු ප්‍රශ්නයකට විසඳුමක් පමණක් නොව, අපේ මුළු ජීවන රටාවම නිවැරදි කරන මාලිමාවකි.
මුදල් අච්චු ගැසීම නැවැත්වීම: Bitcoin වල සැපයුම මිලියන 21කට සීමා වී ඇති නිසා රජයන්ට අවශ්‍ය පරිදි මුදල් අච්චු ගසා කෘතිම කෑමවලට සහනාධාර දිය නොහැක. එවිට ස්වභාවික පෝෂ්‍යදායී ආහාරවල සැබෑ වටිනාකම නැවත ලැබෙනු ඇත.
අනාගතය ගැන සිතීම: Bitcoin නිසා මිනිසුන් තුළ ඇතිවන අඩු කාල මනාපය ඔවුන්ව සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට පොළඹවයි.
සෘජු සම්බන්ධතාවය: රෝගියා සහ වෛද්‍යවරයා අතර අතරමැදියන් (ඉන්ෂුවරන්ස්, බැංකු) නැතිව Bitcoin හරහා සෘජුව ගනුදෙනු කිරීමට හැකි වීමෙන් වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගත හැකිය.

අවසාන වශයෙන්, අපේ මුදල් පිරිසිදු වන විට අපේ කෑම පිඟාන මෙන්ම අපේ ශරීරයද පිරිසිදු වනු ඇත. ඔබ ඔබේත්, ඔබේ දරුවන්ගේත් සෞඛ්‍යය ගැන සිතන්නේ නම්, ඔබ පාවිච්චි කරන මුදල් ක්‍රමය ගැන සිතීමට දැන් කාලය හරි ය.
මෙම post එක share කරන්න


